
සුළෙෙග් වේගය හා නිදහසේ දිව යන කැළෑ අශ්වයින් රංචුව
ලංකා සිතියමේ ඈතම කෙළවෙර් සිතුවම් වී ඇති යාල්පානම, හිතවත්කමින් පොහොසත් මිනිසුන්ගේ පුරවරය වන යාපනය, අතිශය සුන්දර වෙරළ තීරයන් හිමි ජැප්නා පෙනිසියුලාව, මේ සෑම අයුරකින්ම කියැවෙන්නේ අපේ පුංචි පාරාදීසයේ උතුරු ප්‍රදේශයේ හදවත බදු නගරය පිළිබඳවයි.
සටහන: දිල්ෂි තත්සරණී අබේරාජ ඡායාරූප: මේනක අරවින්ද සහ දමිත් වික්‍රමසිංහ
හිමිදිරි පාන්දර කොළඹින් පිටත් වුණු අප ටිකින් ටික පරිසරය වෙනස් වෙන A9 සහෝදරත්වයේ මාවත දිගේ යාල්පානමට සේන්දු වුණේ මල් වැසි වැටෙන සුන්දර සන්ධ්‍යා යාමයකයි. වස්සානය උතුරට තරමක අමුත්තක් වුවත් සැබැවින්ම එදින වැසිබර වී තිබුණේ වියළි පොළොවේ දූවිලි සුවඳ දසත පතුරවමිනුයි. ඡායාරූප ඇල්බමයක් වගේ බලාගෙන ඉඳිද්දී වටපිටාව වෙනස් වෙන පැය ගණනාවක ගමනකින් අපි උතුරට ළගා වුණේ A9 මග ඔස්සේය. A9 අපි කාගේත් හිත් වල මතකයන් බොහෝමයක් ඉතිරි කරපු මාර්ගයක් නිසාම ඒ දිගේ අපේ පුංචි දිවයිනේ උත්තර ප්‍රාන්තයට ළගා වෙද්දී අපේ හිත් හිරිවැටීගෙන ගියේ නිතැතින්මයි. පොල් රුප්පාව තල් රුප්පාවට හැරවෙද්දී, සිමෙන්තියෙන් බැඳි බැමි තල් වැටට මාරුවෙද්දී, නළා හඬ දී ඇදී යන රථ වාහන වෙනුවට පුංචි පුංචි බයිසිකල් පෙළ ගැසෙද්දී, නොදැකපු උතුර ගැන ආදරණීය, උණුසුම් සිතුවිලි සංවේදී මනුස්ස හදවතේ ගොඩගැසෙන එක පුදුමයක් නොවේ. ජැප්නා, යාපනය, යාල්පානම් ලෙසින් භාෂා තුනෙන්ම ලියැවුණු නාම පුවරුව දකිද්දී අපි හැමෝගෙම සිත් වලට දැනුණේ අහේතුක සතුටක් සහ අභිමානවත් බවක් බව නම් මතකයි.
ඩෙල්ප්ට් - ලංකා මවගේ උණුසුම්ම දියණිය...
උණුසුම් හිරුගේ පළමු කිරණයන් යාල්පානම් සරු පොළව සිප ගනිද්දී අපි අපේ දවස ඇරඹුවේ නොදන්නා පළාතේ, නොදැකපු නැවුම් බව හද පුරා විඳගැන්මේ අහිංසක ආශාවත් සමගයි. විනාඩි 45ක මුහුදු සංචාරයක්. ඇත්තෙන්ම එය අපට දැනුණේ එක්තරා ආකාරයක ත්‍රාස්‍යජනක අභියෝගයක් ලෙසයි. මුහුද මැදින් වැටී තිබුණු තාර පාර දිගේ පුන්කුඩතිව් දූපතේ ජෙටිය කරා ගිය ගමන පවා එහිම කොටසක් බව පැවසිය හැකිය. ළා නිල් පැහැති මුහුදු ජලය, තද කලූ පාට තාර පාර සමග අපූරුවට ගැළපුණි. සීමා මායිම් නැතිව අප ඉදිරියේ දිස් වෙන අහස් තලය සහ නිමක් නොමැති අනන්තයට දිවෙනා මහ පොළව අපගේ පුංචි දිවයින කියනා තරම් පුංචි නොවනා බව ඇස් ඉදිරියේ පසක් කරනු ලැබීය. ඩෙල්ප්ට් සිට යාල්පානමටත්, යාල්පානමේ සිට ඩෙල්ප්ට් වෙතටත් ඇති එකම ප්‍රවාහන මාධ්‍යය වන්නේ බෝට්ටුය. ජැටියේ රැඳී සිටි මඳ වේලාවේදී ඩෙල්ප්ට් සිට මෙගොඩට පැමිණි බෝට්ටුවක් අපේ ඇස ගැටුණේ බයිසිකල් පවා පටවා ගෙන එතෙර සිට මෙතෙර පැමිෙණන ඔවුන්ගේ ජීවිත වල එක් පැතිකඩක් විවර කරවමිනි. බයිසිකලයෙන් බෝට්ටුවට, බෝට්ටුවෙන් බයිසිකලයට මාරු වෙන අපේම ඒ සහෝදර ජනතාව ආදරයෙන් පිරුණු සොදුරු මිනිසුන් බව ඔවුන් හා නෙතින්ෙදාඩමලූ වූ අප හැඳිනගත්තෙමු. සිනා පිරුණු මුහුණු, වර්ණවත් ඇදුම්, හිස රැඳි සුවඳ මල්, වචනයකින් හෝෙදාඩමලූ වීමේ ආශාවෙන් විමසිලිමත් දෑස්, මසිතෙහි ඇති කළේ අපූරු සංවේදීත්වයකි.
බැලූ බැලූ අත නිල්වන් ජලය පමණක් දර්ශනය වන, ඉමක් නොපෙනෙන මුහුදේ ඉතාම නිදහස් ගමනකින් පසු අපි ඩෙල්ප්ට් වෙත ළගා වූයේ උදෑසන හිරු යාල්පනම් අහසේ සිනා සලද්දීය. නැදුන්තිව් ලෙසින් එහි වැසියන් හදුන්වන මෙම දූපතට ඩෙල්ප්ට් යන නාමය ලැබී තිබුණේ ලන්දේසීන්ගේ ආභාෂයෙනි. පාලූ මාවත් දිගේ මුළින්ම අප පැමිණියේ ලියලන ගල නැරඹීමටය. ඔවුන් පවසන අන්දමින් කුඩාවට පැවති මෙය ටිකෙන් ටික ලියලා අද පවතින තත්ත්වයට පත්ව ඇත. එම ගල අවට එල්ලා ඇති පඬුරු සහ යාබඳව ඉඳිවෙමින් පවතින කෝවිල මෙහි යම්කිසි අපූර්වත්වයක් ඇති කරන්නට සමත් වේ. ආගමික විශ්වාසයන් යනු ඇදහිලිය. ඒවාට ඇත්තේ සත්‍යතාවයක් හෝ අසත්‍යතාවයක් නොව කිසියම් අගයකි. ඒ විශ්වාසය හා ඒ මගින් මිනිසුන් තුළ ඇති කර ඇති භක්තිය පිළිබඳව ඔබේ සිතේ පහන් හැගීමක් ඇති කර ගැන්මට ඔබ සමත් නම් මේ ස්ථානය ඔබ නැරඹිය යුතුය.
ඉඳ හිට අපට හමුවුණු බයිසිකල් ඇරුණු කොට මෙහි වෙනත් වාහන දැක ගත නොහැකි තරම්ය. උණුසුම් සුළං සිරුර විනිවිද යද්දී ඩෙල්ප්ට් දූපත මැදින් අප නැවතත් අපූර්ව ගමනක යෙදුණේ එහි වූ තවත් වැදගත් ස්ථානයක් වන පරෙවි කූඩුව (පිජන්ස් නෙස්ට්) වෙතටය. 1905 දී ගොඩනැගුණු බවට සඳහන් එය බොහෝ දුරට බලකොටුවකට සමාන වුවත් අද වන විට එහි ඉතිරිව ඇත්තේ එකල පණිවිඩ යැවීම සඳහා භාවිත කළ පරෙවියන් රැඳී සිටි කුලූනක් පමණි. කොහොඹ ගස් වලින් සහ වර්ණවත් හිගුරු මලින් විචිත්‍රවත්ව, වෙරළට මායිම්ව ඇති මෙම පුරාණ නටඹුන් අතීතයේ සිය ප්‍රෞඪත්වය අදටත් විදහා දක්වමින් අභිමානවත්ව නැගී සිටින්නේ වසර 107ක අතීතයකට සාක්ෂි සපයමිනි. මොහොතකට දෑස් වසාගෙන ඒ අතීතය සිහි කළ හැකි නම් ඒ ප්‍රෞඪත්වයට බෙහෙවින් ආදරය කරන්නට ඔබට හැකි වනු ඇත.
අපගේ ඊළග නැවතුම්පොළ වූයේ අතිවිශාල බයෝබාබ් වෘක්ෂයය.ශ්‍රී ලංකාවෙහි මෙම වර්ගයේ වෘක්ෂයක් දැකිය හැකි දුලබ ස්ථානයන් ස්වල්පය අතරින් එකක් ඩෙල්ප්ට් වන අතර මෙම වෘක්ෂය අරාබීන් විසින් ගෙනැවිත් සිටවූවා යැයි සැළකේ. වට ප්‍රමාණය අඩි 52ක් තරම් විශාල වන මෙම වෘක්ෂයේ ඇති ගස් බෙණය දෙතුන් දෙනෙකුට නොතෙමී ඉන්නට තරම් සෑහේ. දමිළ බසින් පෙරුක්කා ලෙසින් මෙය හදුන්වන්නේ විශාල පලතුර යන්න අර්ථ ගැන්වීමටය. මෙම විශාල වෘක්ෂයේ සිසිල් සෙවණේ මඳක් ගිමන් හැර අප නැවතත් අපගේ ගවේෂණය ඇරඹුවේ උද්යෝගීමත් කුතුහලයකිනි.
අපගේ මීළග නැවතුම වූ ඩෙල්ප්ට් රෝහල් භූමිය දිගේ මුහුද දෙසට ගමන් ගත් අප නතර වූයේ නටබුන් වූ දැවැන්ත ගොඩනැගිල්ලක් අසලය. තනිකරම වාගේ කොරල් පර වලින් සැදුම් ලත් මෙය අතීත වාස්තු විද්‍යාවේ විශ්මිතභාවය පෙන්නුම් කරන්නක් විය. මුහුදු සුළග ගත දැවටෙන, මේ පාලු නිස්කලංක බිම් කඩ අතීතයේ ආඩම්බර දිනයන්හිදී කෙතරම් නම් විරාජමානව තිබෙන්නට ඇත්ද යන්න සිතීම පවා අභිමානවත්ය.වෙඩිආසරම් රජු විසින් සිය රාජධානියෙහි ආරක්ෂාව පිණිස තැණූ බව කියැවෙන මෙම බලකොටුව පසු කාලයේදී පෘතුගීසීන් විසින් පාවිච්චියට ගෙන තිබේ. තවමත් ඉතිරි වී ඇති මෙහි ශක්තිමත් බිත්ති සහ සුවිශාල කණු ආදිය මෙම රජවරුන් තුළ සිය රාජධානිය කෙරෙහි පැවති ශක්තිමත් ආදරය සහ ෙගෟරවය පෙන්නුම් කෙෙර්.
මෙම ආදරණීය, හුදෙකලා දූපතේදී අපගේ දෑසට හසුවූ අතිශය දුර්ලභ සහ ආශ්චර්යාත්මකම දර්ශනයක් වූයේ දිය කඩිත්තක විවේක සුව විඳිමින් වුන් කැළෑ අශ්වයින් රංචුවයි. වාහනය මඳක් එපිටින් නවත්වා අප හෙමි හෙමින් ඔවුන් වෙත ළං වුවද ඒ තියුණු ඇස් වලට හොරෙන් යමක් කරන්නට තරම් අපට සුදුසුකම් නැති බව පසක් කරමින් අශ්වයින් රංචුවම කැළෑ රොද වෙත දිව ගියේ අනර්ඝ දසුනක් මවමිනි.
අතරමගදී හමුවූ කොට්ට කිලංගු වෙළෙන්ඳකුගෙන් තැම්බූ කොටුට කිලංගු අප මිලදී ගත්තේ කුසගින්නට නොව ආශාවටය. පොල් කෑලිත් සමග කිරි රසට හැපෙන කොට්ට කිලංගු වල රසය මේ පුංචි දූපත පිළිබඳව තව තවත් ආදරණීය හැගීම් වලින් අපව පුරවන්නට සමත් විය. පාසලක්, රෝහලක්, පොලිසියක්, වෙළඳපොළක්, කෝවිල්, පල්ලි මෙන්ම පන්සල් වලින්ද සමන්විත ඩෙල්ප්ට් සැබැවින්ම සුන්දර දිවයිනකි.
ශ්‍රී ලංකාවට අයත් ඉතා වටිනා කමකින් යුත් දූපතක් වන මෙය ආදරයෙන් රැක බලා ගැන්ම අපගේ යුතුකම බව අමුතුවෙන් මතක් කළ යුතු නොවන්නේය. සවස තුනේ බෝට්ටුවට යාමට වූ නිසාවෙන් අකමැත්තෙන් වුවද මෙම දූපතෙන් සමුගත් අප මුහුද සමග ඈතට යද්දී එය බොඳ වන අයුරු බලා සිටියේ සැබෑ සංවේගයෙනි.
නල්ලූර් රාජධානිය
අපගේ ගමනෙහි ඊළග දිනය ඇරඹුණේ යාල්පානමේ තවත් පැහැදිලි අහසක් යටදීය. එදින අපගේ අරමුණ වූයේ යාල්පානම් අර්ධද්වීපයේ අප්‍රකට ස්ථාන සොයා යෑමය. කටට සැරට තිබූ උලුදු වඬේ වලින් සප්පායම් වූ අප පේදුරුතුඩුව දෙසට වන මාර්ගය දිගේ අපගේ ගමන ඇරඹුවේ ඉතිහාසයේ තවත් එක් අභිමානවත් රාජධානියක ශේෂයන් දැක ගැන්මේ අසීමිත ආශාවකිනි. නල්ලූර් රාජධානියට ඇතුලු වීමට කලියෙන් වන සංගිලියාන් රජුගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමාව අපට ඔහුගේ රාජධානිය ළග ළගම බව හැගෙව්වේය. මෙහි ශේෂ වී ඇති ඇතුලු වීමේ ද්වාරයම ඒ අතීතයේ ෙප්රෟඪත්වයට සාක්ෂි සපයයි. ඉන් ඇතුලු වූ අපට දැකගත හැකි වූයේ කෝවිලක් හා ඒ ඉදිරිපිට සන්සුන්ව දිය කැළතෙන විල් තීරයකි. සුරතල් එලු පැටවුන්, තාරාවුන් සහ ඕලූ මලින් සුන්දර වූ එය වචනයේ පරිසමාප්ත අයුරින්ම සොදුරු විල් තෙරකි. එම විල සහ කෝවිල පසුකර ඉදිරියට යද්දී අපට හමුවූයේ විශාල පොකුණකි. ජමුණා පොකුණ ලෙසින් හැඳින්වෙන මෙම පොකුණ සංගිලියාන් රජුගේ බිසව දිය නෑ ස්ථානය යැයි මතයක් පවතී. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇය මෙහි දිය නෑමට පැමිණ ඇත්තේ මාළිගයේ සිට වැටී තිබුණු උමං මගක් ඔස්සේ යන පුරාවෘතයයි. අපගේ ඊළග අරමුණ වූයේ මෙම රජ මාළිගය සොයා ගැන්මය. ඉහත කී නටබුන් පසුකර පේදුරුතුඩුව පාෙර් ඉදිරියට මඳ දුරක් යද්දී මෙම රජ මාළිගය හෙවත් මන්ත්‍රී මනායි ප්රතාපවත්ව නැගී සිටිනු දක්නට ලැබේ. මෙහි ඇතුලු වූ විගස අප සිත් වලට දැණුනු විශ්මය කියා ගත නොහැකි තරම්ය. එය එතරම් සුවිශේෂී ස්වභාවයක් ඉසිලුවේය. ගෘහ නිර්මාණය පිළිබඳව අවුරුදු ගණනාවක් හැදෑරිය හැකි තරමට මෙය විවිධ ආකාරයේ මෝස්තර, ලී කැටයම් ආදියෙන් පිරිපුන්ය. මෙයට අවුරුදු 500කට පෙර ඉඳිවූවා යැයි පිළිගැනෙනා මෙම සුවිසල් මන්දිරය පසුව ලන්දේසීන් විසින් භාවිත කර තිබුණේ විවිධාකාරයේ රාජ්‍යමය කටයුතු වලට වුවත් මේ වනවිට එය ඇත්තේ පිළිසකර කටයුතු අවශ්‍ය තත්ත්වයක වේ. කෙසේ වෙතත් මෙය පුරාවිද්‍යාත්මක වශයෙන් අනූපමේය වටිනාකමකින් යුක්ත බව නම් පිළිගත යුතුමය.
නිලාවරන්හි නිල් දිය...
අස්වාභාවික සුන්දරත්වයෙන් පිරි මෙම මන්දිරයෙන් පිටත් වූ අප සරු යාල්පානම් පොළවේ හොඳ හැටි පල දරා ඇති කෙසෙල්, පැපොල්, මිරිස් සහ මිදි ආදී වගාවන් අතරින් ඊළගට ළගා වූයේ නිලාවර හෙවත් පතුළ නොපෙනෙන ළිඳ වෙතටය. බොහෝ පුරාවෘත වලට විවෘත වූ මෙම ළිඳ සැබැවින්ම ගුප්ත ස්වභාවයක් ඉසිලීය. මෙම ළිඳෙහි ගැඹුර අද වන තුරු සොයා ගෙන නැති අතර එනිසාම මෙය පතුළක් නැති ළිඳ ලෙසින් හැඳින්වේ. මෙම ළිඳ තුළ විවරයන් දෙකක් පවතින අතර ඒවා ත්‍රිකුණාමලය සහ කීරමලේ දක්වා දිවෙන බවටද මතයක් ඇත. කෙසේ වුවත් මෙම ළිඳ තවමත් හරියට තෝරා බේරා නොමැති ප්‍රහේලිකාවක් සේය. එය විසඳන්නට එක්කෝ කෙනෙකු අතිශය නිර්භය විය යුතුය නොඑසේනම් පතුළක් නැතැයි පිළිගන්නා ළිඳකට පැන පතුළ සොයා කිමිදෙන්නට තරම් ජීවිතාශාව අත් හැරි කෙනෙකු විය යුතුය. මේ සම්බන්ධයෙන් ඇති තවත් එක් විශ්වාසයක් වන්නේ මෙය හදිසියේ ගැසූ අකුණක් හේතුවෙන් පහළ වූවා යන්නයි. මෙවන් මිත්‍ය විශ්වාසයන්ගේ අතීත කතාන්දර වල ඇති නිර්මාණශීලීත්වය සහ අවස්ථා ගැළපීමම මොනතරම් අගය කළ යුතුදෟ
උතුරු කොණේ...
හතර වටින්ම මුහුදින් වට වී ඇති අපේ පුංචි දිවයිනේ උතුරු කොණටම යන්නට තරම් එදින අප වාසනාවන්ත වූයෙමු. පේදුරුතුඩුවේ පාලූ නිශ්ශබ්ද වෙරළ තීරයේ ශ්‍රී ලාංකේය ධජය සනිටුහන්ව ඇති අයුරු දෙස අප බලා සිටියේ හිත් පුරා උතුරා ගලා යන ආත්මාභිමානයක්ද සමගිනි. ලංකාවේ ඈත කොණේ පිහිටි පේදුරුතුඩුවද වර්ණවත් කොවිල් රැසක් පිරිවරා ගත් තවත් එක් ආඩම්බර උතුරු නගරයකි. වරෙක ප්‍රසිද්ධ වරායක් වූ මෙහි අද ශේෂ වී ඇත්තේ එහි සුවිසල් ෙ දාරටුව පමණි.
කෝවිල් පුරවරය...
පේදුරුතුඩුවෙන් අප හැරුණේ කන්කසන්තුරෙයි පාර වෙතටය.
හදිසියේ දුටු ප්රතාපවත් පෙනුමැති පැරණි කෝවිලක් අපව මඳකට නවත්වන්නට සමත් වූයේ එහි වූ අමුතු ගාම්භීරත්වය නිසා විය යුතුය. මාවිඞ්ඩපුරම් කන්දස්වාමි කෝවිල ලෙසින් ප්‍රචලිත මෙය කන්කසන්තුරෙයි හා යාල්පානම් පාරෙහි පිහිටියේය. ඉතා හොඳින් හා භක්තිමත්ව පුද සත්කාරයන් සිදු කෙරෙනා මෙහි ඇත්තේ සිත් ගන්නා සුලූ අතීත කතාවකි. මෙම කෝවිල නිර්මාණය වන්නට මුල් වන්නේ මෙම ස්ථානයට ස්කන්ධ දෙවියන් වැඩියේ යැයි යන විශ්වාසයය. පුරාවෘත වලට අනුව ස්කන්ධ දෙවියන් ඉන්දියාවේ සිට පැමිණ වල්ලි අම්මා හමුවීමට කතරගමට යන අතර වාරයේ ගිමන් හැරීමේ ස්ථානයක් ලෙස මෙය යොදා ගෙන තිබේ. අදටත් මෙම කෝවිල සිත් පහන් කරවන, ළතැවුල් නිවනා අරණක් ලෙසින් මෙහි නිතර යන එන බැතිමතුන් අතර ප්‍රචලිතය. මෙය සහ කීරිමලේ නගුලේසවරම් කෝවිල අතර ඇත්තේ අපූර්ව වූ සබඳතාවයකි. පුරාණයේදී එක්තරා ඉන්දීය කුමාරිකාවක සිය විරූපීභාවය දුරු කරගැන්මේ අටියෙන් කීරිමලේ දිය පොකුණෙන් දිය නා මෙම කෝවිලට පැමිණ පුද පූජා පැවැත් වූ බවට මතයක් තිබේ. මෙසේ කලක් ගත වෙද්දී ප්‍රසන්න පෙනුමක් ඇයට ලැබී ඇත. අදටත් හින්දු භක්තිකයින් දිවි හිමියෙන් සුරකින මෙම විශ්වාසයන්, ඔවුන් පරිස්සමට අදහන ආගමේම කොටසකි. මාවිඞ්ඩපුරම් කෝවිලේ සිට අප කීරිමලේ දක්වා ගියේ අතීත කතා සියල්ල හදවතින් විශ්ලේෂණය කරමිනි. ඒ තරම් තදින් ආගමක විශ්වාසයන් වෙත බැදුණු වෙනත් දිනක් මගේ මතකයේ නැත. කීරිමලේ නගුලේස්වරම් කෝවිල කොතරම් බලා සිටියත් එපා නොවෙනා විචිත්‍රවත් ස්ථානයකි. අප එහි යද්දී මඳක් සවස් වී තිබුණු නිසාවෙන් එම සුන්දරත්වය දෙගුණ තෙගුණ වී අපට පෙනුණා විය හැකිය.
කෝවිල් බිමේ කපුරු සුවඳ විඳිමින් එහි පවතින ගැඹුරු නිශ්ශබ්දතාවයෙන් හිත් සනසවා ගත් අප අපසු ඒමට පිටත් වූයේ පැහැදිලි යාල්පානම් අහසේ පෑයූ වටකුරු සඳ අප හා සිනාසෙද්දීය. වෙනත් සංචාරයන් අවසන නොදැනෙන අපූරු පහන් හැගීමක්, මිනිසුන් කෙරෙහි සංවේදීත්වයක්, මුලු විශ්වය කෙරෙහිම ආදරයක්, මෙතෙක් කල් අපෙන් දුරස් වී සිටි යාල්පානමේදී අප විඳ ගත් බව මම අවිවාදයෙන් පිළිගනිමි.