වසර පුරාවට සොඳුරු අත්දැකීම් ගෙනෙන ඍතු වෙනස
July 2018

වසන්තයේ උදාවත් සමඟින් සකුරා මලින් අලංකාරවත්වුණු ජපානය

පෘථිවිය සූර්යයා වටා ගමන් කරන වසරක කාලය තුළ ලොව පුරා බොහෝ රටවලට ඍතු හතරක් උදා වෙනවා. ඒ වසන්ත (Spring), ගිම්හාන (Summer), සරත් (Autumn/Fall) සහ සිසිර (Winter) ලෙසින් හඳුන්වනු ලබන ඍතුවලට අනුවයි. එම ඍතුවල වෙනස සමකාසන්යේ පිහිටි රටක් ලෙසින් ශ්‍රී ලංකාවට වැඩිය බලනොපෑවද අනෙකුත් බොහෝ රටවලට නම් තදින්ම දැනෙනවා. ලොව පුරා විහිදී ඇති මහද්වීපවලට මෙම ඍතුවල වෙනස්වීම ගෙන එන්නේ එකකට එකක් වෙනස්වූ අත්දැකීම්.


සටහන: අනුරාධා පෙරේරා


මලින් බරවන ලොවම සරසන වසන්තය

වඩාත්ම සුන්දරම හා සෞභාග්‍යමත් ඍතුව වන්නේ වසන්ත ඍතුවයි. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, රුසියාව, ජපානය ඇතුළු ලොව බොහෝ රටවලට වසන්ත ඍතුව උදාවන්නේ මාර්තු මාසයේ වන අතර එය මැයි මාසය දක්වාම පවතිනවා. නමුත් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවලට වසන්ත සමය පවතින්නේ සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී.


දීප්තිමත් හිරු එළියත් සමඟින් ඇරඹෙන වසන්ත කාලයේදී ගහ කොළ වෛවර්ණවත් මල් කැකුළුවලින් සහ පලතුරුවලින් සැරසෙන්නේ සුන්දර දසුනක් මවමිනුයි. එමෙන්ම සතුන් වැඩි වශයෙන් පැටවුන් බිහි කරන්නේත් මේ කාලයේදීයි. ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව ඇතුළු සමහර රටවලට මේ ඍතුවේ සමහර දිනවල වැසි ඇද හැලුනත් කාලගුණයේ පවතින්නේ සෞම්‍ය උණුසුම් ස්වභාවයක්.


ජපානයට සුවිශේෂී වන සකුරා (චෙරි) මල් පිපෙන්නේ වසන්ත සමයේ වන අතර එය එරටට උදාවන සුන්දරම ඍතුවයි. වැඩි සංචාරක ආකර්ෂණයක් පවතින මෙම කාලය ජපන් බසින් "හනම් ලෙයින්" ලෙසින් හඳුන්වන්නේ "මල් නරඹනවා" යන අරුත ඇතිවයි. "ගෝල්ඩන් වීක්" ලෙසින් හඳුන්වන අප්‍රේල් 27 සිට මැයි 6 වැනිදා දක්වා කාලය තුළ සෑම කෙනෙකුටම නිවාඩු ලැබෙනවා.


ප්‍රභාමත් හිරු කිරණත් උණුසුමත් කැටිවුණු ගිම්හානය

ජුනි සිට අගෝස්තු දක්වා කාලයේ පවතින ගිම්හාන ඍතුව තරමක උණුසුම් ස්වභාවයක් ගන්නවා. එළිමහනේ විනෝද ක්‍රීඩාවලට මෙන්ම මුහුදු වෙරළේ හා කඳුකර ප්‍රදේශවල විවේක ගත කිරීමට සුදුසු වන්නේ මේ කාලයයි. දි‍නකට පැය 6 ක් 7 ක් පමණ හිරු එළිය පවතින දිගු දිවා කාලයකිනුත්, සෞම්‍ය සවස් කාලයකිනුත් සමන්විතයි.


අනෙක් රටවලට සාපේක්ෂව උණුසුමක් නොමැති වුවත් රුසියාවට වැඩිම උෂ්ණත්වයක් පවතින්නේ ගිම්හාන ඍතුවේදි‍යි. මෙම ඍතුවේදී දහවල් කාලය දිගු වන අතර රාත්‍රී කාලය කෙටි වෙනවා. ගස් කොළ පැහැයෙන් බබළන මේ කාලය රුසියාවේ පාසල් සිසුන්ට නම් අතිශයින් විනෝදජනකයි. ඒ, මෙම කාලය වෙන්වන්නේ ඔවුන්ගේ ගිම්හාන නිවාඩුව සඳහා වන නිසයි.


ජපානයේ වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 75 ක්ම සිදුවන්නේ මේ කාලයේදී වන අතර උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයේ ඉහළයාමකුත් සිදුවෙනවා. ජපානයේ මයිෆු කන්නය ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ වන අතර බොහෝ ජපන් ජාතිකයින් මුහුදු යන්නේත් මේ කාලයේදීයි.


ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිම්හාන ඍතුව උදාවන්නේ දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවලදී. රුසියාව වැනි ලොව අනෙක් රටවලට සාපේක්ෂව ඕස්ට්‍රේලියානු මහද්වීපයට පවතින ගිම්හාන ඍතුවේ උෂ්ණත්වය ඉතාමත් වැඩියි. අධික උණුසුම පාලනය කරගැනීම සඳහා ඕස්ට්‍රේලියා මහද්වීප වැසියන් මුහුදේ පිහිනීමටත් එළිමහනේ සෙවනක් සහිත ස්ථානවල ඉන්නටත් උනන්දුවක් දක්වනවා. ඕස්ට්‍රේ‍ලියාවේ බොහෝ දෙනෙකුට ගිම්හාන ඍතුව යනු නිවාඩු කාලයක්.


නෙක පත් පැහැපත් කරවන සරත් ඍතුව

ගස්වල කොළ රතු, කහ, තැඹිලි සහ දුඹුරු පැහැයන්ට හැරෙමින් විචිත්‍රවත් දර්ශනයක් මවන්නේ සරත් ඍතුව ඇරඹිමත් සමඟයි. මෙලෙසින් පැහැය වෙනස්වී ක්‍රමයෙන් ඒ පත්‍ර හැලී යනවා. ඇතැම් අස්වනු නෙලීමට සුදුසු වන්නේත් සරත් කාලයයි.
බටහිර රටවල් සහ ජපානය වැනි රටවලට සරත් ඍතුව පවතින්නේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය තුළයි. එම රටවල සංචාරය කිරීමට සුදුසුම කාලය වන්නේ මේ කාලයයි.


නමුත් ඕස්ට්‍රේලියා මහද්වීපයට නම් සරත් ඍතුව පවතින්නේ මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළදීයි. ශාක පත්‍රවල පැහැය වෙනස් වන අතර ඇපල්, පෙයාර්ස් වැනි පලතුරු ගස් ඵල බර වෙන්නේත් මේ කාලයේදීයි.


ගස් කොළන් මෙන්ම සතුන්ද එළැඹෙන දීර්ඝ සීත සමයට සූදානම් වන්නේත් සරත් ඍතුවේදීයි. සතුන් ආහාර ගබඩා කරගැනීමට උනන්දුවන අතර ඇතැම් සතුන් උෂ්ණ ප්‍රදේශවලට සංක්‍ර‍මණයවීම අරඹන්නේත් මේ කාලයේදීයි.


හිම පියලි වෑහෙන සීතල උතුරන සිසිර ඍතුව

ඉතාමත් සීතල දේශගුණයකින් සමන්විත සිසිර ඍතුවේදී හිම පතනය ආරම්භ වෙනවා. උෂ්ණත්වය ඍණ අගයක් ගන්නා අතර ආලෝකය සහ උණුසුම පවතින්නේත් අඩුවෙන්. හිම පියලි වැටීමෙන් මුලූ ප්‍රදේශයම දක්නට ලැබෙන්නේ සුදු පැහැතිවයි. මුළු ලෝකයම උත්සවශ්‍රීයෙන් සමරන නත්තල උදාවෙන්නේත් ශීත ඍතුවේදියි.


බටහිර ඇතුළු බොහෝමයක් රටවලට සිසිර ඍතුව බලපාන්නේ දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි යන මාසයන් පුරාවටයි. අනෙක් රටවලට සාපේක්ෂව සීත ඍතුවේදී රුසියාවෙහි පවතින සීතල ඉතාමත් වැඩියි. මෙම කාලයේදී රුසියාවේ ගංගා සහ විල් හිමෙන් මිදෙන අතර එහි හිම ක්‍රීඩාවල යෙදීමටත් රුසියානුවන් කැමැත්තක් දක්වනවා. එමෙන්ම ජපානයේ ෆුජි කන්ද වඩාත් අලංකාරව දිස්වන්නේත් මේ කාලයේදීයි.


ඕස්ට්‍රේලියාවට මෙම ඍතුව උදාවන්නේ ජුනි සිට අගෝස්තු දක්වා කාලයේදීයි. මෙම කාලයේදී ඕස්ට්‍රේලියාවට වර්ෂාවද පවතින අතර සමහර ප්‍රදේශවලට අධික ලෙසින් හිම පතනය සිදුවෙනවා.


ඍතු දෙකක් පමණක් වන කලාපයක්

මැද පෙරදිග කලාපයේ සිදුවන ඍතු වෙනස්වීම් ඉහත සඳහන් අනෙක් රටවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මුහුණුවරක් ගන්නවා. දැඩි උණුසුමකින් යුතුවන කාන්තාරවලින්ද සමන්විත භූමි කලාපයක් වන මෙහි දවල් කාලය ඉතාමත් උණුසුම් වන අතර රාත්‍රී කාලය සිසිල් ස්වභාවයක් උසුලනවා. එම කලාපයට බොහෝවිට පවතින්නේ ඍතු දෙකක් පමණයි. එනම් වසරේ නොවැම්බර් සිට අප්‍රේල් දක්වා වන මෘදු සීත ඍතුව සහ මැයි සිට ඔක්තෝබර් දක්වා වන උණුසුම් ගිම්හාන කාලයයි. මෙම ඍතු දෙක අතර වන මූලිකම වෙනස්කම වන්නේ දිවා කාලයේ පවතින උෂ්ණත්වයේ වෙනස්වීම් සහ සුළඟේවන වෙනස්වීම් පමණයි.


ඉහත සඳහන් රටවලට සාපේක්ෂව වෙනස් ආකාරයේ ඍතු විපර්යාසයන් වන රටවල්ද පවතිනවා. බොහෝ රටවල ඍතු වෙනස බෙදා දක්වන්නේ දින දසුනට අනුව වුනත් පින්ලන්තය සහ ස්වීඩනය වැනි රටවල එයට පදනම් කරගන්නේ උෂ්ණත්වයි. එමෙන්ම විවිධාකාරයේ සංස්කෘතික හේතූන් මතද සමහර දකුණු ආසියාතික රටවල් වසර ඍතු හයකට බෙදා දක්වනවා.


මෙලෙසින් ඍතු වෙනස්වීම් අතිශයින් සුන්දර වන්නේ වසර පුරාවට විවිධාකාරයේ අත්දැකීම් ගොන්නක් එක්කරන නිසායි.


මෙම ලිපිය සැකසෙන්නේ අනතර්ජාලයෙන් සපයාගත් තොරතුරු ඇසුරිනි.


Spring, Summer, Autumn and Winter are the four conventional seasons. They are the result of the earth's orbit around the sun. Due to the earth's axial tilt, the time of year in which the seasons occur is different. For example, when countries such as the US, Europe and Russia; located in the Northern Hemisphere, experience Winter, countries such as Australia and New Zealand in the Southern Hemisphere are in Summer. Spring is considered by many to be the most beautiful season, where nature blossoms with new life. This beauty is exemplified in Japan where Sakura (cherry blossoms) bloom. Summer projects the warmest temperatures. Generally people head to the beach to cool off; in many countries school holidays also coincide with summer. Nature takes on brilliant shades during Autumn (Fall), as trees begin to lose their leaves; it is also the time harvests are reaped in many countries. Winter being the coldest season, imparts an environment white as snow, in countries such as Canada, the UK and Germany.

  • image01
    image01

    ගිම්හානයේ උණුසුමත් සමඟින් ජනාකීර්ණ වන ඕස්ට්‍රේලියාවේ බොන්ඩ් වෙරළ තීරය

    Prev Next
  • image01
    image01

    සරත් ඍතුවේදී පත්‍රවල පැහැය වෙනස්වූ නෙදර්ලන්තයේ වැම්බර්ග් රක්ෂිතයේ බීච් ගස්

    Prev Next
  • image01
    image01

    සීත ඍතුවේ හිමෙන් මිදුණු ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග් නගරය සහ සල්සැච් ගංගාව

    Prev Next
  • image01
    image01

    මෘදු සීත ඍතුවේ මීදුම අතරින් උදෑසන හිරුකිරණ වැටී බබළන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාරයක්

    Prev Next